ඉතා නුදුරු දිනක සරසවි කෑළි කර විකිණෙනු ඇත. ඔබේ දරුවාගේ අනාගතය මොණර කොළවලට උකස් වනු ඇති. කන්නන්ගර උතුම් මැතිඳුන්ගෙන් සුජාත වූ ලාංකීය නිදහස් අධ්‍යාපනය වෙන්දේසි කරන වර්තමාන ඔලමොට්ටල මහත්වරු ටික උගුරට හොරා කරන කියන දේ ඔබට කියන්නට ඒ මහත්වරුගේම මාධ්‍යයන් යොදාගත නොහැකි බැවින් අපි කාබන් කොපිය අරඹමු..!

Saturday, December 24, 2011

සරසවි ශිෂ්‍යයාගේ හෘද සාක්ෂිය සහ වර්තමාන මාධ්‍ය භාවිතය


සරසවි ශිෂ්‍යයා කියන්නේ නිදහස් අධ්‍යාපනය උදෙසා දහඩිය හෙළන පුද්ගලයෙක්.සරසවි ශිෂ්‍යයා කියන්නේ නිදහස් අධ්‍යාපනය මෙතෙක් කාලයක් රැකගත් සහ වර්තමානයේදී රැකගන්න පුද්ගලයා කියල කිවුවොත් නිවැරදියි.ඔය විදියට කියන සරසවි ශිෂ්‍යයෝ අනන්තවත් අපි දැකලා තියෙනවා.ඒත් ඔහොම කියන දයාබර සහෝදර සහෝදරියන්ට අමතකද දන්නේ නෑ ඔය සරසවි ශිෂ්‍යයා පහුගිය දවස්වල කොළඹ දෙවනත් කරපු හැටි.සාමාන්‍ය ජනතාවට යන්න එන්න බැරි වෙන විදිහට පාරවල් අවහිර කරපු හැටි.ඊට පස්සෙ රට කරවන අයට වහසි බස් කිය කියා ගලහ හන්දියේ ටයර් පුළුස්සපු හැටි.ඒවා සහෝදර සහෝදරියන්ට අමතකද? නැත්නම් මතක නෑ වගේ ඉන්නවද?
  එක මට්ටමක එක සීමාවක ඉඳන් මට ඕනෙනම් එහෙම කීව හැකි.
  ඒත් ඔතැන ඊට වඩා දෙයක් තියෙනවා
තමන්ගේ විභාගෙ හෙට කියලා ලෙඩ වෙච්ච සගයෙක්ගෙ රෑ කෑම එක අරගෙන ඉස්පිරිතාල ගානෙ රස්තියාදු වෙන, එකට ඉගෙන ගන්න එකාට සල්ලි නැති උනාම එක බත්පත දෙකට බෙදාගෙන කාලා ඉතුරු හරිය වතුර බොන මෙකී නොකී බොහෝ දේවල් ඔය නෝනලා මහත්තුරු වගේ ප්‍රසිද්ධ වෙන්න නොවෙයි පපුවෙ තියෙන කැක්කුමට කරන මගෙ සගයො අනන්තවත් මම දැකල තියෙනවා.
    හැබැයි දැනුම් තේරුම් තියෙන් නෝනලා මහත්තුරුන්ට මාධ්‍ය මහත්තුරුන්ට ,දශක ගණනාවක් මගහැරිච්ච දෙයක් තියෙනවා. හැමදාම සති අන්තෙට අහවල් නිළිය දික්කසාද වෙලාද අර නිළිය ගැන හැදිල තියෙන කටකතාවල ඇත්ත නැත්ත මොකක්ද කියල හොයන්න පත්තර පිටු ගණන් වෙන් කරන ඔබතුමන්ලට හැමදාම නාන මඩ ටික ආයෙත් නාගන්න එහෙම නැත්තං මෙගා නාට්‍යයේ ඊළඟ දර්ශනයට ඔය ගුවන් කාලය වෙන් කරන ඔබතුමන්ලට ,සරසවි ශිෂ්‍යයෝ කරන සමාජ සත්කාර පේන්නැද්ද එහෙම නැත්තං නොපෙනුනා වගේ ඉන්නවද?
  පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ වාර්ෂික "අරුණැල්ල" අපොස සා.පෙළ සම්මන්ත්‍රණ මාලාව එම විශ්ව විද්‍යාලයේම කලා පීඨයේ "ආවර්ජනා" ශිෂ්‍යත්ව වැඩසටහන  පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය සාහිත්‍ය අනු කමිටුව සංවිධානය කරන දැවැන්ත සාහිත්‍ය උළෙල මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨය සංවිධානය කරනු ලබන වාර්ෂික සා.පෙළ වැඩසටහන් මාලාව.ජ'පුර විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨය සංවිධානය කරන සමාජ සත්කාර වැඩසටහන්
මේවගේ ඒවා ගැන තව ලිපියක් පිරෙන්න උනත් ලියන්න පුලුවන්.
ඔය වගේ දේවල් වලට උදවු කරන්න සරසවි ශිෂ්‍යයන්ට කවුරුත් නෑ.අගනුවර කාටහරි ඉක්කාවක් ගියත් මාධ්‍ය ආවරණයක් ලබා දෙන අය ඉන්න රටක සරසවි ශිෂ්‍යයා වීම නිසාම කොන් වෙලා ගිහින් .හැබැයි එක අතකට ඒක සාධාරණයි.මොකද මේ රටේ මිනිසුන්ට ඔය කියන සරසවි ශිෂ්‍යයාට වඩ ගහ මරා ගන්න සරසවි ශිෂ්‍යයා තලු මර මර ගිලින්න පුළුවන්නේ.ඒ විදියට බලපුහාම මාධ්‍ය සගයෝ  සාධාරණයි කියලත් හිතෙනවා.
  සරසවි ශිෂ්‍යයා මේවගේ දේවල්වලට අතගහන්නේ මාසයකට ලැබෙන මහපොළයි ගෙදරින් ලැබෙන සොච්චමයි විතරක් අතේ තියාගෙන. හිතේ තියෙන හයිය හින්දම ගිනි ගහන අවුවෙ ගිහින් කැට කරලා  කන්න තියෙන සල්ලි ටික ඉතුරු කරලා පුළුවන් හැටියකට මොකක් හරි කන්න උන් ආසයි.හැබැයි ඔය ඔය වගේ සම්මන්ත්‍රණ වලට තෝර ගන්නේ නම් කොළඹ හතේ තරු පායන පුංචි නෝනලා මහත්තුරු ඉගෙන ගන්න ඉස්කෝල නෙවෙයි.නහර බේරුණ ඇඟත් උස්සගෙන උදේට කහට කෝප්පයක් බීපු වාරුවෙන් විෂයන් හතටම එකම පොතක් අරගෙන කහපාට දත් ටික පෙන්නලා නිරහංකාරෙට හිනාවෙන  කොල්ලො කෙල්ලො ටිකක් ඉන්න අන්ත දුෂ්කර පාසල්.
ඒ වගේ ලස්සන රූප නැති හින්දා හරි එහෙම නැත්නම් අර පොදු න්‍යාය පත්‍රය මේ වගේ වැඩසටහන්වල ක්‍රියාත්මක වෙන්නේ නැති හින්දා හරි මේ වගේ දේවල් පත්තරවල පළවෙන්නේ නෑ.රූප පෙට්ටිවල යන්නෙත් නෑ.
ඇසින් හදවතට ගලායන කඳුළු වල සීතල වැඩිකමට මේ විදියට හිතට එන ආවේගය අකුරු කළේ.සරසවි ශිෂ්‍යයා කියන්නේ මේ සමාජෙම අවයවයක් මිස පිළිකාවක් නොවෙයි කියන එක මේ විදියට ලාංකිකයන්ට කියනකොට පාට කණ්නාඩි ගලවපු නිරුවත් දෑසින් ඔවුන් මේ තත්වේ දිහා බලයි කියලා අපේ හිත්වල පුංචි බලාපොරොත්තුවක් තියෙනවා.

No comments:

Post a Comment