ඉතා නුදුරු දිනක සරසවි කෑළි කර විකිණෙනු ඇත. ඔබේ දරුවාගේ අනාගතය මොණර කොළවලට උකස් වනු ඇති. කන්නන්ගර උතුම් මැතිඳුන්ගෙන් සුජාත වූ ලාංකීය නිදහස් අධ්‍යාපනය වෙන්දේසි කරන වර්තමාන ඔලමොට්ටල මහත්වරු ටික උගුරට හොරා කරන කියන දේ ඔබට කියන්නට ඒ මහත්වරුගේම මාධ්‍යයන් යොදාගත නොහැකි බැවින් අපි කාබන් කොපිය අරඹමු..!

Tuesday, January 3, 2012

පේරාදෙණියේ සවිකර තිබු විරෝධතා පුවරු මැර ප්‍රහාරයෙන් විනාශයට..........

 පාර්ලිමේන්තුවට රැගෙන ඒමට නියමිත රජ්‍ය නොවන විශ්වවිද්‍යාල පණතට එරෙහිව පෙරාදෙණිය විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨ භුමියේ හා පෙරාදෙණිය ගලහ හන්දියේ සවිකර තිබු දැවැන්ත විරෝධතා පුවරු අද (2012-01-03)දා අළුයම කිසියම් පිරිසක් විසින් ගිනිතබා විනශ කර තිබේ.
ප්‍රහාරයට පෙර පුවරු දිස්වූ අයුරු..........
 පෙරාදෙණිය සියලු ශිෂ්‍ය සංගම් වෙත පනවා තිබු තහනම ශිෂ්‍ය බලය හමුවේ හකුලාගැනීමට සිදුවීම හා තම කූඨ උපායන් පරාජයට පත්වීමෙන් සිත් තැවුලට හා ඉච්චාභංගත්වයට පත් මුග්දයන් පිරිසක් මෙම නින්දිත, නිර්ලජ්ජිත හා භියගුලු ප්‍රහාරය පසුපස සිටින  
                                                        බවට සිසුන් චෝදනා කර සිටී.

                                                                      

ප්‍රහාරයෙන් පුවරු විනාශ වී ඇති අයුරු..............

 සාමකාමීව විරෝධතාව දැක්වීමට හා අදහස් දැක්වීමට සිසුන්ට ඇති අයිතිය මෙන්ම අදහස් දැනගැනීමට මහජනතාවට ඇති අයිතියත් මැරයින් විසින් මෙමගින් අහෝසි කර ඇතිබවටද සිසුන් චෝදනා කර සිටී.පර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පණත ඔවුන් පවසන ආකාරයට මෙතරම් විනිවිද නම් මෙවන් නිවට ප්‍රහාර එල්ලකරන්නේ මන්දැයි සිසුන් විමසා සිටී.     





Sunday, January 1, 2012

නිදහස් අධ්‍යාපනය සහ සරසවි සිසුවා.....



නිදහස. වසර 30ක් මුලුල්ලේ ශ්‍රි ලංකාව වෙලී සිටි ඒ කුරිරු ත්‍රස්තවාදය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ  මැතිතුමාගේ අධීන නායකත්වය යටතේ සහමුලින්ම තුරන්කර ඒ උතුම් වු වචනයේ අර්ථය සැබවින්ම අප බුක්ති විඳිමින් සිටින්නෙමු.එනමුදු වසර 60කටත් වඩා අතීතයක් ඇති විවිධාකර බාධක මැද රැක ගත්තා වු තවත් අභිමානනීය නිදහසක් එකී නායකත්වය යටතේම අපෙන් ගිලිහෙන්නට යන දිනය වැඩි ඈතක නොවන බව සිහි වෙන විට ඇති වන්නේ ඉමහත් වු බලපොරොත්තු කඩ වු බවකි.එලෙස වියැකෙන්නට යන නිදහස වන්නේ උතුම් වු නිදහස් අධ්‍යාපනයයි.C.W.W කන්නන්ගර මහතාගේ අති මහත්  වු ප්‍රයත්නයෙන් ශ්‍රි ලංකා මාතාවට දායද වු වටිනාම ත්‍යාගයක් වන්නේ එකී නිදහස් අධ්‍යාපනයයි.ආරම්භයේ සිටම බරපතල ලෙස අභියොගයන්ට මුහුන දෙමින්, නමුදු එකී නිදහස් අධ්‍යාපනයෙන් ජීවය ලැබු කලගුණ දන්නා ඇත්තන්ගේ අපරිමිත උත්සහයෙන් යලි පණ නැගෙමින් වර්තමානය දක්වා අතිශය අභියෝගාත්මක ගමනක යෙදුනු නිදහස් අධ්‍යාපනය මේ මොහොත වන විට තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ තිබේ.මදකට අතීතය පිරික්සමු. ඒකී නිදහස් අධ්‍යාපනයෙන් පණ පෙවුනෝ කවරහුද? ආරම්භයෙදී අධ්‍යාපනය වනාහී වරප්‍රසාද ලත් සුලු පිරිසකගේ අයිතියක් විය. C.W.W කන්නන්ගර මහතගේ විප්ලවයෙන් පසුව එය දුගී  මගී පොහොසත් සියලුම දෙනාගේ දායදයක් විය. සෑම ශ්‍රි ලාංකිකයෙකුටම ඉන් විපුල ඵල නෙලාගැනීමට ඉඩ ප්‍රස්තාව ලැබුනි.වර්තමාන ශ්‍රි ලංකාවේ ඉහලම පුටු හොබවන්නන්ගේ අතීතය පිරික්සීමෙදී එය මනාව වටහා ගත හැකි වේ.නමුදු ඔවුනගෙන් සමහරෙකු කිසිත් නොදන්නා උන් මෙන් හැසිර නිදහස් අධ්‍යාපනයට වින කටින්නට දරන තැත දකින අපිට ඇති වන්නේ දැඩි කණගාටුවකි.පෙර කීවාක් මෙන් වරප්‍රසාද නොලත් අය  නිදහස් අධ්‍යාපනයෙන් පණ ලබනු නොරිසි උන්ගේ  හෝ නිදහස් අධ්‍යාපනයෙන්ම පණ ලබා පටු වාසි සඳහා එය පාවා දෙන්නන්ගේ බලපෑම නිසාම නිදහස් අධ්‍යාපනයට එල්ලවු බාධාවන් අපමණය. J.R.සමයේ වල පත්‍රිකාව, චන්ද්‍රිකා සමයේ තාර හැරල්ඩ් වාර්තාව හා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමට දරනු ලැබූ උත්සහයන් ඊට උදහරණ වේ.කෙසේ හෝ එකී සියලු උත්සහයන් සියලු ජනයාගේ ඒකරාශිත්වයෙන් පරාජය කෙරුණි. අද දිනයේ එය වඩාත් ප්‍රබල හා සැලසුම්සහගත ලෙසින් නිදහස් අධ්‍යාපනයේ මලගම සිදු කිරීමට මග බලමින් සිටිනු පෙනේ. එය එසේ සිතීමට සිදුව ඇත්තේ ඇයිද හා එයට හේතු වන කරුණු කාරණා මොනවාද යන්නත් වර්තමාන සමාජයේ වගකීමත් විමසා බැලීමට අද දිනයේ වඩාත් ඝර්භාවට ලක්වන විශ්වවිද්‍යාලීය ශිෂ්‍යයෙකු ලෙස කරුණු දැක්වීම කාලීන  සංවාදයක අවශතාවක් යැයි සිතමින් මෙම ලිපිය දිග හැරේ.
ගරු උසස් අධ්‍යාපන අමාත්‍ය S.B. දිසානායක මහතා පවසන පරිදි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පනත 2012 ජනවාරි මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.එකී පනත පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිමය වශයෙන් ස්ථාපනය කිරීමට ගෙන එන්නක් බව කියවේ. ඒ මහින්ද චින්තනයේ සඳහන් වන පරිදි ශ්‍රි ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානය කිරීමට සහ උසස් පෙළ විභගයෙන් රජයේ සරසවි වලට යාමට නොහැකි අයගේ විදෙස්ගතවීම් වලකාලීමටය. ඔහුට අනුව ගොවියාගේ පුතාටත්, කම්කරුවාගේ දුවටත් ඉහත කී පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් මුදල් ගෙවා උපදිය ලබා ගත හැකි වේ. එසේම ඔහුට අනුව වෛද්‍ය උපාධිය රුපියල් ලක්ෂ 80කට ආසන්න මුදලකටත් ඉංජිනේරු උපාධිය රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලකටත් කලා උපාධිය රුපියල් ලක්ෂ 15කට ආසන්න මුදලකටත් ලබාගත හැකි වේ.බැලු බැල්මට මෙහි වැරද්දක් නැත. මෙමගින් රටේ සියලුම දෙනාට  උසස් අධ්‍යාපනය ලබා ගත හැකි වේ. එම නිසා හුදී මහජනයගේ සුභසිද්ධිය උදෙසා ඇති වු පහන් සංවේගයෙන් සිටින S.B. දිසානායක ඇමතිතුමා කඩිමුඩියේම එකී පනත සභාගත කර සම්මත කිරීමට ගත හැකි සෑම ක්‍රියමාර්ගයක්ම ගනිමින් සිටියි. ඒ සඳහා වන බහුතර බලය දනටමත් ආණ්ඩුව සතු වන නිසා පනත සම්මත වීමේ ගැටලුවක් පැන නොනගිනු ඇත. ඔහුට කල යුතුව ඇත්තේ ඒ දින වනතෙක් පනත කෙරේ ඇතිවන විරෝධතාවන් කෙසේ හෝ නවතාලීම පමණකි. උසස් අධ්‍යාපන ඇමතිවරයාට අනුව මෙකී ප්‍රතිසංස්කරණවලට සහ පනතට විරුද්ධවන්නන් කාලකන්නින්ය. ඒ කාලකන්නින් අතර ප්‍රමුඛයන් ලෙස රජයෙ විශ්වවිද්‍යලීය සිසුහුද වෙති. ඔවුන් ජනතා විමුක්ති පෙරමුණෙන් උසිගැන්වුවෝ වෙති. ඒ ගැන කතා කිරීම අපි මඳකට පසෙකින් තබමු.
සම්මත කර ගැනීමට නියමිත අධ්‍යපන පනතේ ප්‍රමුඛවම ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරිමය. එහිදී දැනට පවතින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට වඩා බලැති එකොළොස්දෙනෙක්ගෙන් යුත් කමිටුවක් යොජනා කර තිබේ. ඉන්  අට දෙනෙකුවම තොරා ගන්නේ අමාත්‍යවරයාය. ඔවුනට පැවරෙන රාජකාරින් අතර සියලුම විශ්වවිද්‍යාල ශ්‍රේණිගතකිරිමක් ගැනද සඳහන් වේ. ඇමතිවරයාටම අනුව මෙරටට ගෙන එන විශ්වවිද්‍යාල ලොව ප්‍රමුඛම ආයතන නිසා රජයේ විශ්වවිද්‍යාල වල ශ්‍රේණිය ගැන අපට අදහසක් ගත හැක.මන්ද එකදු රාජ්‍ය විශ්වවිද්‍යාලයක්වත් ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව මුල් 2000ටවත් නැති බැවිනි.වර්තමාන තත්වය දෙස බලන කල මෙම පනත සමග  තවත් ගැටලු කිහිපයක්ම මතු වේ.දැනට රජයේ විශ්වවිද්‍යාලවලින් ලබා දෙන උපාධියට වඩා මුදලට ලබා ගත හැකි CIMA,CIM වැනි උපාධි  රැකියා වෙළඳපොලෙදී බලවත් සාධකයන් වෙති.ඉංජිනේරු, වෛද්‍ය ආදී උපාධි කිහිපයක් හැරුනකොට රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් ලබා දෙන උපාධිය රැකියාවක් ලබා ගැනීමේදී අවම සුදුසුකමක් බවටවත් පත් කිරීමට වර්තමාන පරිපාලනයට හැකිව තිබේද? එසේවී නම් අනන්තවත් රැකියා විරහිත උපාධිදාරින් සිටින්නේ කෙසේද? රැකියා ලබා ගත් අයට පවා ඒ සඳහා උපාධියේ පිහිට ලැබී තිබේද?රජය ඒ පිලිබඳව පසු විපරමක් කරන්නේද? මේ සියලු පැන වලට පිලිතුරු වන්නේ නැත යන්නයි. එසේ නම් පිලිගත යුතු සත්‍යය වන්නේ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල වල තත්වය පිලිබඳව බරපතල ගැටලු පවතින බව නොවේද? ඇමතිවරයා පවසන පරිදි නව පාඨමාලා සමහර පීඨ වලට ඇතුලත්කර තිබේලු.නව පාඨමාලා හඳුන්වාදුන් පමණින්  අවම වශයෙන් රැකියා වෙළඳපොල ජය ගැනීමට හැකි වේවිද?නව පාඨමාලා ලෙස හඳුන්වාදුන් සම සෞඛ්‍යය විද්‍යා පීඨයට අද ප්‍රමාණව්ත් තරම් දේශන ශාලා, ගුරුවරු සහ සායන කටයුතු සඳහා රෝහල් පහසුකම් පවා නැත. රජරට වෛද්‍ය විද්‍යා පීඨයට මහාචාර්ය ඒකකයක් තවමත් නැත. ති කරන ලද කලමණාකරන ඵීඨවල තත්වයද ඊට දෙවෙනි නොවෙති. පවතින පාඨමාලා වල තත්වය වර්තමාන තත්වයන්ට ගැලපෙන පරිදි උසස් කිරීමක් සිදුවී නොමැත.ඒ හැරුනු කල රජයේ විශ්වවිද්‍යාල වලට ලබා දෙන ප්‍රතිපාදන කප්පාදු කර තිබේ. උදාහරණයක් වශයෙන් වාර්ෂික ප්‍රතිපාදන ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉල්ලා තිබු රුපියල් මිලියන 1143ක මුදලට ලබා දී තිබුනේ රුපියල් මිලියන 160ක් පමණි.ඉතුරු වු මුදලට සිදුවු දෙයකුත් නැත. සමහර විට එම මුදල් නායකත්ව පුහුණු වැඩසටහනට යොදා ගන්නවා විය හැකිය.අනිකුත් විශ්වවිද්‍යාලවල තත්වයද ඊට නොදෙවෙනි නොවෙති. නමුත් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට රුපියල් මිලියන 600ක බැංකු ණයක් ලබා දීමට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඇප කැප වී සිටියි.

පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශය ඇති සේවාවක රජ්‍ය අංශය කවදත් ඇත්තේ පහලින්මය. ඊට හොඳම උදහරණ  ලෙස ලංගම සහ රජයේ රොහල් ගත හැකිය. ඒ ගැන  වැඩි විස්තර මහජනතාවට නැවත නැවතත් මතක් කර දිය යුතු නොවේ. මන්ද මහජනතාව  ඉතා හොඳින් එය අත්විඳින බැවිනි. ඒ හැරුනු කොට පාසල් අධ්‍යාපනය හා ටියුෂන්  අධ්‍යාපනය සලකමු. අද ශ්‍රි ලංකාවේ සියලුම දෙමව්පියන් සහ සිසු සිසුවියන් පාසල් අධ්‍යාපනයට වඩා ටියුෂන් අධ්‍යපනය කෙරෙහි වැඩි බරක් තබති.දිවයිනෙ ප්‍රමුඛ පෙලේ පාසල් කිහිපයක් හැරුනු කොට සහ ගම්බද කුඩා පාසල් හැරුනු කොට අනෙකුත් සියලුම පාසල් එම ප්‍රශ්නයෙන් පීඩා නොවිඳින්නේද? උසස් පෙළ සිසුවෙකුගේ මාසික ටියුෂන් පන්ති ගාස්තුව කොතරම්දැයි දන්නෝ හොඳාකාරවම දනිති. ඉන් අදහස් වන්නේ පෞද්ගලික අධ්‍යාපන ආයතන හමුවේ රාජ්‍ය ආයතන වල කඩා වැටීම නොවේද? රජයේ පාසල් වල ගුණාත්මකබව කෙසේ වෙතත් හෙට දිනයෙ තවත් පාසල් දහසකටත් වඩා පළමු වසර සඳහා සිසුන් නොමැතිව වැසී යාමේ තර්ජනයකට ගොදුරුව සිටිති. තොරා ගත් පාසල් පමණක් සංවර්ධනය කරමින් අනික් කුඩා පාසල් වලට කුඩම්මගෙ සැලකිලි ලබාදෙති. ඉඳින් එම පාසල් වැසී යාම අරුමයක්ද? රාජ්‍ය විශ්වවිද්‍යාලවලටත් මෙම තත්වය ඇති නොවේ යයි කෙසේ කියම්ද? පාසල් අධ්‍යාපනය  තුල පවතින එකී ටියුෂන් සංස්කෘතිය තුල සමහර ගුරුවරුන් පාසල් කාලවේලාවන් තුලම ටියුෂන් පන්ති පවත්වාගෙන යාම අද දින දුලබ දසුනක් නොවේ.සමහර පාසල් ගුරුවරු පවා ඊට සහසම්බන්ද වී සිටිති.අප සියලු දෙනාම දන්නා පරිදි වර්තමාන සරසවි ආචාර්යවරුන් ඔවුන්ගේ මාසික වැටුප පිලිබඳව නොසතුටෙන් පසුවෙති. සමහර ආචාර්යවරුන් ඔවුන්ගේ විවේක කාලවලදී ICBT,SLITTවැනිපෞද්ගලික ආයතනවල දේශන පවත්වති. එලෙස රජයේ නොසැළකිල්ලට භාජනය වී සිටින ආචර්යවරුන් ඇරඹීමට නියමිත පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් ලබා දිය හැකි ඉහල දීමනාවන් කෙරෙහි ආකර්ශනය වීම විය නොහැකිද? එසේ නොවේ යයි රජයට දියහැකි සහතිකය කුමක්ද? එවිට ඇති විය හැකි ආචර්යවරයන්ගේ හිඟයක් හමුවේ රාජ්‍ය සරසවි කඩාවැටීමට ඉඩක් නොමැතිද?උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කුමක් පැවසුවත්  රුපියල් පන්සියයකට ව්‍යාජ උද්ඝෝෂණ සඳහා සොයාගත හැකි දේශපාලන හෙන්චයියන් මෙන් ආචාර්යවරුන් මහාචාර්යවරුන් සොයාගැනීම අපහසු වනු නියතය.
උසස් අධ්‍යාපනය භාර මැති ඇමතිවරුන්ගේ සහ නිලධාරින්ගේ වගකීම් විරහිත ක්‍රියාපටිපාටිය පසු ගිය උසස් පෙළ ප්‍රතිපල නිකුත් වීමෙදී මැනවින් ප්‍රදර්ශනය කෙරුනි. ජනධිපතිතුමාගේ නියෝගය නිසා ප්‍රතිල කඩිනමින් ලබා දුන්නාය කියන උසස් අධ්‍යාපන අමාත්‍යවරයා තම ජීවිතයේ තීරණාත්මකම කඩඉමක සිටින සිසුනට සිදුවු අවනඩුව ඉතාමත් සුලු සිද්ධියක් ලෙස හුවාදක්වයි.ක්‍රමවත් ලෙස පැවති විභාග දෙපර්තමේන්තුවේ කීර්තියද මෙම අමාත්‍යවරුන් යටතේ විනාශව ගොස් ඇත.එම දෙපර්තමේන්තුව කෙරෙහි සිසු,දෙමවුපිය සහ මහජන විශ්වාසය බිඳ වැටී ඇත. කෙසේ වෙතත් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ජ්‍යාමිතික දැනුම පිලිබඳව වැටහීමක් උගත් බුද්ධිමත් ජනතාවට ලැබෙන්නට නිසැකය.එය මහජනයා හමුවේ බරපතල වචන යොදා කරුණු කාරණා පහදා දීමට යාමේදි අමාත්‍යවරයාහට එසේ සිදුවු දෙයක් යයි පොදුජනතාව ලෙසින් අපි උපකල්පනය කරමු.
පවතින රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුලත් කල හැකි සිසුන් ප්‍රමණය සීමා සහිත බව අපි සියලුම දෙනා හොඳාකාරවම දනිමු. එම නිසා විකල්ප අධ්‍යපන අවස්ථා ලබාදීම රජය සතු යුතුකමකි.නමුදු මේ ආකර කඩිමුඩියේ සහ රහසිගතව  කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙරෙහි විශ්වාසයක් ඇති කර ගත හැකි වෙවිද? නිසි සංවාදයකට ලක් නොකොට අත්තනෝමතික ලෙස තීරණ ගැනීමෙන් වල පල්ලට යන්නේ ශ්‍රි ලාංකීය අනාගතයම නොවේද? පසුගිය දිනක විමල් වීරවංශ අමාත්‍යවරයාද පවසා තිබුනේ නිසි දැනුවත් කිරීමකින් තොරව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පනත් ගෙන ඒම ල රහිත බවයි. එම අමාත්‍යවරයා පමණක් නොව වර්තමාන ආණ්ඩුවේ  මැති ඇමතිවරුන් කීදෙනෙක් මේ පනත පිලිබඳව දැනුවත්දයි අපි නොදනිමු. නිසි දැනුවත් කිරීමකින් තොරව සමාජ ප්‍රතිසංස්කරණ කිරීමට ගොස් අනා ගත් අවස්ථා මෙම රජයේ දුලබ නොවේ. පෞද්ගලික විශ්‍රාම වැටුප් පනත, ප්‍රවාහන කටයුතු සඳහා කූඩ හඳුන්වාදීමේ ක්‍රියාමාර්ගය ඊට උදහරණය. නිසි දැනුවත් කිරීමකින් හා පදනමක් නොමැතිව කඩිමුඩියේ ඉදිරිපත් කරන කුමන අන්දමේ ප්‍රතිසංස්කරණයක් පිලිබඳව සැක මතුවීම වැළක්විය හැකිනොවේ. උදහරණයක් ලෙස ගරු S.B. දිසානායක ඇමතිවරයා පෞද්ගලික විශ්වවිද්‍යාල තුලින් ගොවියගේ දුවට පුතාටත් මුදල් දී අධ්‍යාපන කටයුතු කරගෙන යා හැකි බව කියයි.ඇමතිවරයා පවසන අන්දමට ලක්ෂ 50-60ක උපාධියක් සඳහා මුදල් වියදම් කල හැකි සාමන්‍ය පවුලක් අප අතර නම් සොයා ගැනීමට අපහසුය.බොහෝමයක් පවුල් එදාවේල  සොයාගැනීමේ අරගලයක නිරත වෙති.මේ අතර ඔහු  ඇතිකරනට යන පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් 20% ක ඉඩක් නොමිලයේ දුප්පත් දරුවනට ලබා දෙන බවක් පවසයි. කන්න උවමනා විට කබරයි තලගොයි වන අන්දමට ලබා දෙන පොරොන්දු ගැන විශ්වාසය තැබිය හැකි වේවිද? වාසිය පිණිස පක්ෂ පවා මාරු කරන දේශපාලකයන්ගේ පොරොන්දු තව දුරටත් විශ්වාස කිරීමට ජනතාව තවමත් සුදානම්දැයි අපි ඇසීමට කැමත්තෙමු.
ත්‍රස්තවාදී තර්ජනයක් අවි බලයෙන් විනාශ කිරීම කල හැකිය.එය රටේ පොදු ආරක්ෂාව උදෙසා කල යුතුමය.නමුදු රටේ පොදු ජනයාට බලපාන ප්‍රශ්න විසඳීමට අවි බලය යොදා ගැනීම කොතරම් දුරට යෝග්‍යදැයි රට කරවන්නන් විසින් දෙවරක් සිතා බැලිය යුතුමය. බැලුමක්   පීඩනයක් දී වතුරේ ගිල්වාගෙන සිටිය හැකිය.එක් අවස්ථාවකදී එය පීඩනයෙන් මිදෙන්නේ මහ ජල කඳක් පෙරලාගෙනය.එලෙසම පොදුජන ප්‍රශ්න , නොයෙකුත් වෘත්තීන්ට ඇතිවන ප්‍රශ්න විසඳීමට අවි බලය යෙදීම සුදුසු නැත. වර්තමානයේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සරසවි සිසුවන් කෙරෙහිද දක්වන්නේ එවැනිම ආකල්පයක් බව පෙනේ. සරසවි සිසුන් කියනා දේවල පදනමක් ඇති බව පොදුජනතාව දනිති.  මතය බිඳලීමට ඔහු නොගන්නා උත්සහයක් නොමැත. සරසවි සිසුන් ජනතා විමුක්ති පෙරමුණෙන් උසිගැන්වෙන බවත්, නවක වදය දෙන කාලකන්නින් පිරිසක් බවත්නවක ළමුන්ට පුස්තකාලයට යාමට නොදෙන බවත් සහ ඉංග්‍රීසි කතා කිරීමට නොදෙන බවත් පුන පුන පවසයි. එකම බොරුව සිය දහස් වරක් ඇසෙන විට එය ඇත්තක් බවට පත්වේ. එය සුප්‍රසිද්ධ ගොබෙල්ස් Hdයයි. ඒ අනුව අමාත්‍යවරයා සරසවි සිසුන් අධ්‍යාපන කටයුතු සාර්ථක කර නොගන්නා උද්ඝෝෂණ පෙලපාලි ගැන පමණක් සිතනා අය බව පුන පුනා පවසමින් සිසුන් කෙරෙහි පවතින ජනමතය නැති කිරීමේ දේශපාලනික උත්සහයක යෙදෙන බවක් පෙනේ. නවක වදය දෙන මානසික ලෙඩුන් සරසවි භුමිය තුලද සිටීමට හැකිය.ඔවුනට හැකි සියලු දන්ඩණ පැනවීම් කල යුතුමය. නමුත් බහුතර සිසු ප්‍රජාව නවක වදයේ ක්‍රියාකරුවන් නොවෙති. උදාහරණ ලෙස පවතින ආණ්ඩුවේද ජනතා සේවයට ලැදි බහුතරයක්  මන්ත්‍රීවරු සිටිති.එලෙසම ජඩ වඩ කරනා දේශපාලකයන් ගැනද අසන්නට ලැබේ.නවක වදය කරනා අයවලුන් සොයා නිසි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට  සමස්ත සරසවි ප්‍රජාවටම පහර ගසන්නේ කුමන දේශපාලන අරමුණක් සඳහාද යන්න ජනතාව හොඳින් අවබෝධ කරගත යුතුමය.ඒ ජනවාරි මස සම්මත කර ගැනීමට නියමිත එකී පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට ප්‍රබල විරෝධයක් එල්ල වන්නේ සරසවි සිසුවන්ගෙන් බව අමාත්‍යවරයා හොඳින්ම දන්නා බැවිනි. සිසු විරොධතා පාගමන්,උද්ඝෝෂණ තහනම් වන්නෙත්, කැරලි මර්දන පොලිසිය සහ හමුදාව යොදා  එකී විරොධතාවන් නවතන්නෙත් එබැවිනි.ඒ හැරුනුකොට සියලුම  සරසවිවල පාහේ සිසු සංගම් තහනමට ලක් කරමින්ද පවතී. මෙකී සියල්ලෙන්ම මර්දනයට ලක් කිරීමට උත්සහ කරන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහිව නැගෙන සාධාරණ සිසු විරොධතාවයන් නොවේද?නවක වදයට මුවාවී කරනා දේශපලන කෙලි සෙල්ලම් පිලිබඳව ජනතාවගෙ අවධානය යොමු විය යුත්තේ එබැවිනි.
නිදහස් අධ්‍යාපනය හෝ සෞඛ්‍යය සේවයක් පැවතීම රජයකට අධික වියදම් යන කටයුත්තකි.නමුදු එය දිගුකාලීන ආයොජනයකි. එම ආයොජනයේ ප්‍රතිපල කෙලින්ම හා වක්‍රාකාරව රටට ලැබේ. අද බුද්ධි ගලනයක් ගැන කතා කරනු ඇසේ. නමුත් එකී බුද්ධි ගලනයට හේතු වන්නේද ලබා ගත් සුදුසුකමට නිසි පිළිගැනීම නොමැතිවීම නොවේද? සමහර අමන  දේශපාලුවන් ගන්නා අත්තනෝමතික තීරණම නොවේද? නිදහස් අධ්‍යාපනයෙන් ඵල ලැබූ සැවොම නැවත එය රට වෙනුවෙන් කැප කල යුතුමය. මන්ද ඒ සැවොම රටට සහ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කල පොදු මහජනතාවට ණය ගැති වන බැවිනි.ඉඳින් එකී නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනීසිටීමේ වරදක් කිව හැකිද? වර්තමාන සරසවි ශිෂ්‍යාද එලෙස පෙනී සිටින්නේත් උර දෙන්නේත්  නිදහස් අධ්‍යපනය හැකි අයුරින්  සුරකීමට බව සියලු දෙනා තේරුම් ගත යුතුමය. ඕනෑම ප්‍රජාවක් සලකන කල්හි එහි විවිධ මත දරන විවිධ පක්ෂවලට අයත් අයවලුන් සිටිය හැකිය. මෙහිදී හොඳම උදහරණය ලෙස ගත හැක්කේ වර්තමාන ආණ්ඩු පක්ශයෙන්මය.එහි විවිධ පක්ෂ වලට අයත් විවිධ මතධාරින් මහින්ද චින්තන වැඩ පිලිවෙල සාර්ථක කර ගැනීමට වෙර දරති. එලෙසම සරසවි සිසුවන්ද ඔවුනට එකී වරප්‍රසාද ලබා ගැනීමට හේතු වුත්, මඟ පාදා දුන් නිදහස් අධ්‍යාපනය සුරකීමට වෙර දරති.එහිදී පක්ෂ දේශපාලනයකට කල හැක්කක් නොමැත.ඇත්තේ ශිෂ්‍ය දේශපාලනයයි.දේශපාලනය සෑම පුද්ගලයෙකුම හා බැඳී පවතී. සරසවි සිසුවෝද ඡන්ද හිමි වැඩිහිටි පුද්ගලයන් වෙති.ඔවුනද පාසල් සිසුවෙකු මෙන් සමාජ ප්‍රශ්න හමුවේ හුදකලා කිරීමෙන් සිදුවන්නේ අගතියකි.ඒ වෙනුවට ඔවුන් ජන හද ගැස්ම හඳුනන්නන් විය යුතුය.ගැටලු වලට මුහුණදිය යුතුය. අහස් මාලිඟාවල නොව සමාජයේ පය ගසා ජීවත්වන්නන් විය යුතුය.  මන්ද යත් නුදුරු අනාගතයෙදිම,රට හදන්නට, රටේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් සොයන්නට සහ රට කරවන්නට සිටින්නේ ඔවුන් වන බැවිනි. එවන් වටිනාකමක් ඇති සරසවි සිසුවන් අදේශපාලනික කොට පටු දේශපාලන අරමුණු සඳහා උපයොගි කරගැනීමට ඉඩදිය යුතුද?
රජයකට පරිපාලන කටයුතු වලදී විවිධ තීන්දු තීරණ ගැනීමට සිදුවේ. එය සාමාන්‍ය ස්වභාවයයි. එහිදී විධිමත් සංවාදයක් ඇති කොට උගතුන් බුද්ධිමතුන්ගේ සහ පොදු ජනතාවගේ සහයෝගීත්වයෙන් මනා දැනුවත්කිරීමකින් යුතුව කරුණු කාරණා සිදු වේ නම් ජන ප්‍රසාදය එකී රජය කෙරෙහි වැඩිවනු නිසැකය.එසේ නොමැතිව අත්තනෝමතිකව කඩිමුඩියේ ගන්නා තීරණ වලින් රටටද වන සෙතක් නොමැත. (සංවාදයට විවෘතයි )

චතුර ජයසිංහ
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.